සියපත

Tuesday 6 June 2023

 2 කොටස

මෙම යුගයේදී විහාර බිතු සිතුවම් සඳහා වැඩි අවධානය ලබා දී ඇති බව පෙනේ.ප්‍රධාන වශයෙන් කීර්ති ශ්‍රී රාජසිංහ රජු හා රාජාධිරාජසිංහ රජු විසින් විනාශ වෙමින් පැවති පැරණි විහාරාරාම ප්‍රතිසංස්කරණ කිරීම් හා නව විහාර ඉදිකිරීම් බොහෝමයක් සිදුකර ඇති බව සඳහන් වේ.රාජ්‍ය අනුග්‍රහය නොමඳව ලැබීමත්,චිත්‍ර ශිල්පී පරම්පරා කිහිපයක් සිතුවම්කරණයේ නියැලීමත් මෙම වර්ධනයට හේතු වී ඇත.

මැලියම් හා කෙඳි මිශ්‍රිත මැටි බදාමයක් මත මකුළු මැටි හෝ කිරිමැටි යොදා සැකසූ  "අල්ලියාදු" ගා ඒ මත සිතුවම් අඳිනු ලැබේ.බිත්තිය මත තිරස් තීරු බෙදා ඒ තුළ ජාතක කතා හෝ බුද්ධ චරිතයේ අවස්ථා හෝ ඇඳ ඇත.ජාතක කතාවක්නම් එකම චරිතය,එකම තීරුව තුළ කිහිප වතාවක්ම ඇඳ තිබේ.එමගින් කතාව කියවාගැනීම පහසු කර ඇත.පළමු තීරුව වමේ සිට දකුණු දෙසටත්,දෙවන තීරුව දකුණේ සිට වමටත් ලෙස නොකඩවා ගලායන රටාවක් උපයෝගී කරගැනීම හෙවත් " අඛණ්ඩ කථන ක්‍රමය" භාවිතා කර තිබේ.



                                          වෙස්සන්තර ජාතකය ( දෙගල්දොරුව රජමහා විහාරය )

එමෙන්ම චිත්‍රයට නගා ඇති අවස්ථාව හෝ සිදුවීම තීරුවේ පහලින් මාතෘකාගත කරමින් ලිවීමද බොහෝ විහාරස්ථානවල සිදුකර තිබේ.



                                 සොළොස්මස්ථාන,උරග ජාතකය,රහත් රූප ( මැදවල ටැම්පිට විහාරය )





                                          වෙස්සන්තර ජාතකය ( දෙගල්දොරුව රජමහා විහාරය )

Tuesday 30 May 2023


                                                              මහනුවර යුගයේ චිත්‍ර කලාව


 1 කොටස

ශ්‍රී ලංකාවේ රාජධානි යුග බෙදීම් අනුව අනුරාධපුර,පොළොන්නරු ආදී මුල්කාලීන යුගවල දක්නට තිබූ ශිල්ප කලාවන් ක්‍රමයෙන් අභාවයට යෑමෙන් පසු ඒවායේ නැවත පිබිදීමක් පැහැදිලිවම දැකිය හැකි යුගයක් ලෙස මහනුවර යුගය හැඳින්විය හැකි ය.16 වන සියවසේ සිට 19 වන සියවස දක්වා කාලය (ක්‍රි.ව.1815 දී බ්‍රිතාන්‍ය ආධිපත්‍යයට ලංකාව යටත් වන තෙක්) මහනුවර යුගය ලෙස සැලකේ.

මුල් යුගවල ඇඳි සිතුවම්වල දක්නට ලැබෙන ශෛලීය ලක්ෂණ හා චිත්‍ර සංරචනයේ වෙනස්වීම් රාශියක් මෙම යුගයේ සිතුවම්වල දක්නට ලැබේ.නිදසුනක් ලෙස සීගිරිය,හිඳගල,වෙස්සගිරිය ආදී ස්ථානවල දක්නට ලැබෙන අනුරාධපුර යුගයේ සිතුවම් හා තිවංක පිළිම ගෙය,පොළොන්නරුව ගල් විහාරය ආදී ස්ථානවල දක්නට ලැබෙන පොළොන්නරු යුගයට අයත් සිතුවම්වලට වඩා හැඩතල සරල එහෙත් එවැනිම සංයමයකින් ඇඳි සිතුවම් කලාවක් මෙම යුගයේ හඳුනාගත හැකි වේ.බොහෝ විද්වතුන් පෙර යුගයන් හා සංසන්දනය කරමින් මහනුවර යුගයේ චිත්‍ර කලා ලක්ෂණ පිළිබඳව සෑහීමකට පත් නොවූවද එම කාලසීමාව තුළ ලංකාවේ තිබූ යුරෝපා ආක්‍රමණ හරහා බුදු දහමට ඔවුන්ගෙන් සිදු වූ ගැටළුකාරී තත්වයන් හා බෞද්ධයන් තුළ සදාචාර සම්පන්න ජීවන ක්‍රමයක් නිර්මාණය කිරීම උදෙසා මෙම සිතුවම් මෙවැනි ශෛලියකින් ඇඳ ඇති බව අනුමාන කළ හැකි ය.


                                                               සීගිරිය.අනුරාධපුර යුගය


                                                    තිවංක පිළිම ගෙය.පොළොන්නරු යුගය


                                                  දෙගල්දොරුව රජමහා විහාරය.මහනුවර යුගය

සාමාන්‍ය මිනිසුන්ගේ සාක්ෂරතාවය පිළිබඳව මනා අවබෝධයක් සහිතව මෙම යුගයේ ශිල්පීන් චිත්‍ර නිර්මාණය කර ඇති බව උපකල්පනය කළ හැකි අතරම ඔවුන්ට සරලව තේරුම් ගත හැකි ආකාරයෙන් චිත්‍ර ඉදිරිපත් කර ඇත.කියවා තේරුම් ගැනීමට මෙන්ම කියවීමට නොදත් පුද්ගලයින්ට චිත්‍ර  නරඹා තේරුම් ගැනීමේ පහසුවද එමගින් ලැබේ.ක්‍රිස්තියානි ආගම වැනි වෙනත් ආගම් රට තුළ ව්‍යාප්ත වන සමයක බුදුදහම නොනැසී පවත්වාගැනීමේ අරමුණින් මෙවැනි ක්‍රමයක් යොදාගන්නට ඇතැයි සිතිය හැකිය.එමගින් නැවත නැවතත් ජනයා තුළ ආගමික අදහස්, වත්පිළිවෙත් හා පුණ්‍ය ක්‍රියා වර්ධනය වීමක් බලාපොරොත්තු වන්නට ඇත.

  2 කොටස මෙම යුගයේදී විහාර බිතු සිතුවම් සඳහා වැඩි අවධානය ලබා දී ඇති බව පෙනේ.ප්‍රධාන වශයෙන් කීර්ති ශ්‍රී රාජසිංහ රජු හා රාජාධිරාජසිංහ රජු විස...