Wednesday, 30 October 2024

ලියම් පේන් මිය යයි



One Direction සංගීත කණ්ඩායමේ හිටපු ගායන ශිල්පියෙකු වූ ලියම් පේන් ආර්ජන්ටිනාවේ බුවෙනෝස් අයරීස් නගරයේ හෝටලයක තුන් වන මහලෙන් ඇද වැටී මිය ගිය බව පොලිසිය පවසයි. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 31ක් විය.

ප්‍රකාශයක් නිකුත් කරමින් පොලිසිය පැවසුවේ, ධනවතුන් වාසය කරන පලේර්මෝ ප්‍රදේශයේ සිට ලද හදිසි ඇමතුමක් අනුව ඒ වෙත ගිය කණ්ඩායමක් විසින් ඔහුගේ සිරුර සොයා ගන්නා ලද බව ය.

හැරී ස්ටයිල්ස්, ලුයී ටොම්ලින්සන්, නයිල් හෝරන් සහ සේන් මලික් සමග 2010 වසරේදී X Factor TV වැඩසටහනේදී නිර්මාණය කරන ලද බෙහෙවින් ජනාදරයට පාත්‍ර වූ තරුණ සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු වීමත් සමග ලියම් පේන් ගෝලීය වශයෙන් කීර්තියට පත්විය.

මේ මස මුලදී, පේන් One Direction සංගීත කණ්ඩායමේ ඔහුගේ මිත්‍ර නයිල් හෝරන්ගේ ආර්ජන්ටිනා ප්‍රසංගයට සහභාගී වී තිබිණි.

බුවෙනෝස් අයරීස් පොලිසියට අනුව, [ලියම් මරණයට පත් වූ] ස්ථානය වෙත ගිය නිලධාරීන් මුලදී ප්‍රතිචාර දක්වා තිබුණේ, "ඇතැම් විට මත්ද්‍රව්‍ය හා මත්පැන් පානය කිරීම නිසා කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයෙකු" පිළිබඳව ලද තොරතුරුවලට ය.

නිලධාරීන් හෝටලයට පැමිණෙන විට ඔවුන්ට පවසා ඇත්තේ, එහි මැද මිදුල පිහිටා ඇති ප්‍රදේශයෙන් විශාල ශබ්දයක් ඇසුණු බව ය. ඉන් කෙටි වේලාවකට පසු ඔවුහු එහි වූ ඔහුගේ මළ සිරුර සොයා ගත්හ. පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

හදිසි වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ඇල්බර්ටෝ ක්‍රෙසන්ටි එරට මාධ්‍ය වෙත පැවසුවේ, පේන් "බරපතළ තුවාල" ලබා ඇති බවත් මරණ පරීක්ෂණයක් පවත්වන බවත් ය.

පේන් බැල්කනියෙන් ඇද වැටීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දීම ක්‍රෙසන්ටි ප්‍රතික්ෂේප කළේ ය.


No comments:

Post a Comment

පෘථිවියේ ලස්සනම ස්ථානය' හරහා කිලෝමීටර් 210 ක ගමනක්

' වෙළඳුන් සහ ආක්‍රමණිකයන් විසින් භාවිතා කරන ලද සාම්ප්‍රදායික මාර්ගයක් අනුගමනය කරමින්, ජෝර්ජියානු හමුදා මාර්ගය පුරාණ කාලයේ සිට මිනිසුන් ස...