Thursday, 10 October 2024

මිනිසුන්ට සිටිය හැකි ගුහාවක් සඳ මතින් සොයා ගැනේ විද්‍යාඥයින්



 විසින් ප්‍රථම වරට සඳ මතින් ගුහාවක් සොයා ගනු ලැබ තිබේ.

අවම වශයෙන් මීටර් 100ක් පමණ ගැඹුරකින් යුත් එය මිනිසුන්ට ස්ථිර ජනාවාසයක් ගොඩනගා ගැනීමට සුදුසු ම ස්ථානයක් විය හැකි බවට ඔවුහු පවසති.

පර්යේෂකයන්ට අනුව, එය "භූගතව ඇති, සොයා නොගත් ලෝකයක" සැඟවී තිබෙන ගුහා සිය ගණනකින් එකක් පමණි.

සඳ මත ස්ථිර මිනිස් පැවැත්මක් ඇති කිරීමට රටවල් තරග කරමින් සිටින නමුත් විකිරණ, අධික උෂ්ණත්වය සහ අභ්‍යවකාශ කාලගුණයෙන් ගගනගාමීන් ආරක්ෂා කර ගැනීම ද ඔවුන්ගේ අවශ්‍යතාවක් වනු ඇත.

අලුතින් සොයාගත් ගුහාව ජනාවාසයක් සඳහා උචිත ස්ථානයක් ලෙස පෙනෙන බව ප්‍රථම බ්‍රිතාන්‍ය ගගනගාමියා වන හෙලන් ෂාමන් බීබීසී පුවත් සේවයට පැවසූ අතර, තවත් වසර 20-30ක කාලයකින් මිනිසුන්ට චන්ද්‍ර වළවල්වල ජීවත් විය හැකි බවට ද යෝජනා කළා ය.

එහෙත්, මෙම ගුහාව කෙතරම් ගැඹුරුද යත්, ගගනගාමීන්ට ඒ තුළට යාමට කඹයක් ද ඉන් පිටතට යාමට "ජෙට් පැක් හෝ සෝපානයක්" භාවිත කිරීමට ද සිදු විය හැකි බව ඇය පැවසුවා ය.

ඉතාලියේ ට්‍රෙන්ටෝ විශ්වවිද්‍යාලයේ ලොරෙන්සෝ බෲසෝනේ සහ ලියනාඩෝ කරර් විසින් මෙම ගුහාව සොයා ගනු ලැබුවේ, රේඩාර් ආධාරයෙන් මාරේ ට්‍රැන්ක්විලිටාටිස් (Mare Tranquillitatis) නම් පාෂාණමය තැනිතලාවක වළක් විනිවිද දැකීමෙනි.

"මාරේ" හෙවත් මුහුද වරෙක බොහෝ විට සාගරයක් වූ අතර එය පෘථිවියේ සිට පියවි ඇසට දැකගත හැකි ය. 1969 වසරේදී ඇපලෝ 11 ගොඩ බැස්සේ ද ඒ වෙත ය.


පෘථිවියේ ඊට ආසන්න සමානකමක් පෙන්නුම් කළ හැක්කේ, ස්පාඤ්ඤයේ ලැන්සරෝතේහි පිහිටා ඇති ගිනිකඳු ගුහාවල බව මහාචාර්ය කරර් පවසන්නේ පර්යේෂකයින් ඔවුන්ගේ කාර්ය භාරයේ කොටසක් ලෙස එම ගුහා වෙත ගිය බව ද සඳහන් කරමිනි.
මෙම ගුහාවට සඳේ පෘෂ්ඨයේ විවරයක් ඇති අතර එය සිරස් සහ උඩින් පිහිටා ඇති බිත්ති දක්වා පහළට ගමන් කරයි. එමෙන් ම බෑවුම් සහිත පොළොව අභ්‍යන්තරය දක්වා තවදුරටත් විහිද යා හැක.


වසර මිලියන ගණනකට හෝ බිලියන ගණනකට පෙර එහි වූ පාෂාණමය තට්ටුව හරහා උමගක් නිර්මාණය කරමින් සඳ මත ලාවා ගලා ගිය අවස්ථාවේ සෑදෙන්නට එය ඇත.

No comments:

Post a Comment

පෘථිවියේ ලස්සනම ස්ථානය' හරහා කිලෝමීටර් 210 ක ගමනක්

' වෙළඳුන් සහ ආක්‍රමණිකයන් විසින් භාවිතා කරන ලද සාම්ප්‍රදායික මාර්ගයක් අනුගමනය කරමින්, ජෝර්ජියානු හමුදා මාර්ගය පුරාණ කාලයේ සිට මිනිසුන් ස...